Skip to main content

ස්විට්සර්ලන්ත මහා විහාරය

St. Gallen · ස්විට්සර්ලන්තය

ස්විට්සර්ලන්තය ඇතුළු යුරෝපාකරයේ වෙසෙන බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික සුවය උදෙසා කැපවුණු මහා විහාරයේ ඉතිහාසය හා මෙහෙවර.

ආරම්භය සහ පසුබිම

2005 වර්ෂයේදී ස්විට්සර්ලන්තයට වැඩම කළ පූජ්‍ය ලේඩියන්ගල සුදස්සි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හා මගපෙන්වීමෙන් මෙම විහාරස්ථානයේ මූලික අඩිතාලම වැටුණි. 2008 වසරේ සිට Herisau ප්‍රදේශයේ ස්ථාපිත වූ පින්බිම කේන්ද්‍ර කරගනිමින්, ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික, තායි, වියෙට්නාම් සහ කාම්බෝජ ඇතුළු විවිධ ජාතීන්වල බෞද්ධ සැදැහැවතුන්ගේ ආගමික, සංස්කෘතික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම විහාරස්ථානය ගොඩනැගුණි.

බුදුපිළිම වහන්සේ වැඩමවීම

බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීම හා සැදැහැවතුන්ගේ වන්දනාමානය උදෙසා ශ්‍රී ලංකාවෙන් අතිශය මනස්කාන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවන ලදී. මේ සඳහා සූරිච් නුවර පදිංචි සරත් කුමාර මහතා සහ අනෝමා අධිකාරි මහත්මිය ශ්‍රද්ධාවෙන් යුතුව පූර්ණ දායකත්වය දැරූහ. 2009 ජනවාරි මස 01 වන දින, ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර, මහා සංඝගත දක්ෂිණාවක් පවත්වා St.Gallen මහා විහාරය නිල වශයෙන් ආරම්භ කරන ලදී.

ආගමික හා සංස්කෘතික මෙහෙවර

එතැන් සිට මේ දක්වා වසර ගණනාවක් පුරා, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගෙන් සමාජයට ඉටුවිය යුතු ආගමික, සාමාජික හා සංස්කෘතික සේවාවන් රැසක් විහාරස්ථානය මගින් අඛණ්ඩව ඉටුකරනු ලබයි:

  • වාර්ෂික කඨින චීවර පූජා පින්කම් මහා සංඝරත්නයේ සහ සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන උදාර පුණ්‍යකර්මයකි.
  • වෙසක් උත්සව බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් පවත්වනු ලබන ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්.
  • සංස්කෘතික උළෙලවල් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරකිමින් පවත්වනු ලබන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව.
  • ආශිර්වාදාත්මක පින්කම් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා සහ දානමය පින්කම් මගින් සැදැහැවතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.

කෘතගුණ පූර්වක ස්තූතිය

2009 වසරේ සිට මේ දක්වා විහාරස්ථානයේ උභය අභිවෘද්ධිය උදෙසා ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඉතාලිය වැනි රටවල සිට නන් අයුරින් සහයෝගය දක්වන සියලුම ගිහි පින්වතුන්ටත්, වැඩම කරනු ලබන කල්‍යාණමිත්‍ර මහා සංඝරත්නයටත් අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමු. සදහම් සෙවනේ සිත් නිවාගන්නට ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කරමු!

තෙරුවන් සරණයි!

— පූජ්‍ය ලේඩියන්ගල සුදස්සි ස්ථවිර

2025

ආරම්භය

හෙරිසෞ නගරයේ කුඩා ශ්‍රී ලාංකික බෞද්ධ පංසල ආරම්භ කොට ධර්ම සාකච්ඡා,ආගමික,සංස්කෘතික කටයුතු සඳහා කළේය.

2009

පළමු විහාරය

ප්‍රජාව හෙරිසෞ නගරයේ නමස්කාරය හා භාවනාව සඳහා තම පළමු ස්ථානය ලබා ගත්තේය.

2008

ව්‍යාප්තිය

වැඩිවන සාමාජිකත්වය හේතුවෙන් විශාල ස්ථානයකට මාරු විය.

2009-2026

ස්විස් මහා විහාරය

සියලුම ආගමික කටයුතු හා සංස්කෘතික උත්සව පවත්වමින් විහාරය ස්ථීර බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් විය.

2025

නව පරිච්ඡේදය

ප්‍රධාන ප්‍රතිසංස්කරණය සම්පූර්ණ කර ස්විට්සර්ලන්තයේ බෞද්ධ උරුමයේ සන්ධිස්ථානයක් බවට පත් විය.

පූජ්‍ය ලේඬියන්ගල සුදස්සි ස්ථවිර
පූජ්‍ය

පූජ්‍ය ලේඬියන්ගල සුදස්සි ස්ථවිර

ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනය ආලෝකවත් කරනු වස්, ප්‍රතිපත්ති පූජාවටත්, සමාජ මෙහෙවරට මෙන්ම ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරටත් කැපවුණු යතිවරයාණන් වහන්සේ නමක ලෙස පූජ්‍ය ලේඬියන්ගල සුදස්සි ස්ථවිරයන් වහන්සේ ශාසන ඉතිහාසයට එක්ව සිටිති.

ජනිත වීම සහ සසුන් ප්‍රවේශය

මාතලේ දිස්ත්‍රික්කයේ, ලග්ගල පල්ලේගම සුන්දර ගම් පියසෙහි ඊ.ඇම්. පියසේන පියතුමාණන්ට සහ එච්.එම්.ඒ.ජි. ඩිංගිරි අම්මා මෑණියන්ට දාව උපන් උන්වහන්සේගේ ගිහි නිවහන වූයේ ලේඬියන්ගල ග්‍රාමයයි. සංසාරගත පාරමී මහිමයෙන් වයස අවුරුදු 13 දී උතුම් පැවිදි බිමට ඇතුළත් වූහ.

ගුරු පරපුර හා ශාසනික මාවත

පොලොන්නරුව, හිඟුරක්ගොඩ, බුබුල, ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේදී 1984 වර්ෂයේ පැවිදි භූමියට පත් වූහ. හිඟුරක්ගොඩ බුබුල ශ්‍රි බෝධිරුක්ඛාරාමය සහ පොළොන්නරුව උණගලා රාජමහා විහාරය, කෑගල්ල බිසෝවෙල රාජමහා විහාරත්‍රයාධිපති පූජ්‍ය ඉඹුල්ගල සුගතපාල මහා ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස ශාසනික මාවත හැඩගසා ගනිමින් සසුන් පිළිවෙත් ප්‍රගුණ කළහ.

උපසම්පදාව සහ ශික්ෂණය

1994 ජූනි මස 12 වැනි දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී උපසම්පදා ශීලයෙහි පිහිටි උන්වහන්සේ, ශ්‍රී ලාංකේය ථේරවාද බෞද්ධ සම්ප්‍රදායානුකූලව අවශ්‍ය දහම් දැනුම, ආරාමික අධ්‍යාපනය හා ශික්ෂණය මැනවින් ප්‍රගුණ කළහ. පූජ්‍ය ඉඹුල්ගල සුගතපාල මහා ස්ථවිරයන් වහන්සේ සහ පූජ්‍ය ගිරිතලේ ඤාණිස්සර නාහිමියන් වහන්සේ උන්වහන්සේගේ ගුරු දේවයන් වහන්සේලා වූහ.

ධර්ම ශාස්ත්‍රීය හා ග්‍රන්ථකරණ මෙහෙවර

සුදස්සි ස්ථවිරයන් වහන්සේ හුදෙක් ශාසනික වත්පිළිවෙත් වලට පමණක් සීමා නොවී, ධර්ම ප්‍රචාරය උදෙසා ග්‍රන්ථකරණයටද පිවිස සිටිති. උන්වහන්සේගේ නිර්මාණශීලී හා ප්‍රායෝගික ධර්ම විවරණයන් ඇතුළත් කෘතීන් මෙසේය:

  • කැරපොත්තා සහ කමටහන භාවනාවට පෙරවදනක් ලෙස ලියැවුණු මෙම ග්‍රන්ථය පාඨකයන් අතර ඉහළ ඇගයීමකට ලක්ව ඇත.
  • බුද්ධවචන විවරණය උන්වහන්සේ අතින් ලියැවෙන දෙවන ග්‍රන්ථය වන මෙය මේ වන විට සම්පාදනය වෙමින් පවතී.

පිරිපූර්ණ ශාසනික අධ්‍යාපනයකින් හෙබි සුදස්සි හිමියෝ, නූතන සමාජයට ගැලපෙන අයුරින් බුදුදහමේ හරය සරලව හා ගැඹුරින් පහදා දීමට නිරන්තරයෙන් වෙහෙසෙති. භාවනානුයෝගී දිවියකට මඟ පෙන්වන අතරම, ශාස්ත්‍රීය ගවේෂණයන් හරහා සම්බුද්ධ දේශනාව මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමට උන්වහන්සේ දක්වන දායකත්වය අතිමහත්ය.

"මෙම විහාරයේ අරමුණ සම්ප්‍රදාය සංරක්ෂණය කිරීම පමණක් නොව, ධර්මයට මෙහි මිනිසුන්ගේ හදවත්වල ජීවත් වීමට හා හුස්ම ගැනීමට ඉඩ දීමයි."